Friday 24th of April 2026

English Tamil
Advertiesment


එජාප ජ්‍යෙෂ්ඨයෝ පෙර පාදයේ සෙල්ලමට සැර සෙති..!


2018-06-05 14854

පසු පෙළට නායකත්වය දෙන ලකුණු..!

(උපුල් බණ්ඩාර)

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ ඊට අදාළව  අනුගමනය කළ යුතු ඉදිරි දේශපාලන  පියවර සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර මේ වන විට පුළුල් සාකච්ඡා ආරම්භ වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ ආකාරයට පක්ෂයේ නායකයාගේ සිට පහළට සියලු තනතුරු සඳහා ඡන්දයකින් පුද්ගලයින් තෝරා පත් කර ගනිමින් පුළුල් සහ පාක්ෂිකයින් ඉල්ලා සිටින ප්‍රතිසංවිධානයක් ඇති නොකිරීම, ඔහු 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට උත්සහ දැරීම වගේම මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන්ගේ ද අගමැතිවරයාගේ නිළධාරීන්ගේ ද  අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ආරම්භ කර තිබෙන සටන සම්බන්ධයෙන් ද මේ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර,ගාමිණී ජයවික්‍රම පෙරේරා,ජොන් අමරතුංග,සරත් ෆොන්සේකා සහ රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් මේ පසු පෙළ මන්ත්‍රීවරුන් සමග විවිධ මට්ටමෙන් සාකච්ඡා පවත් වමින් සිටිති.

ගාමිණී ජයවික්‍රම පෙරේරා,රංජිත් මද්දුමබණ්ඩාර සහ ජොන් අමරතුංග යන මහත්වරුන්ට අතිශය සමීප ඒ අයගේ හිතවතුන් පිරිසක් “lankanewsweek” සමග පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඒ තිදෙනා අතිශයින්ම කලකිරී සිටින අතර තීරණාත්මක අවස්ථාවකදී පක්ෂයේ අනාගතය වෙනුවෙන් දේශපාලන තීරණයක් ගනු ඇති බවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අතරින් බහුතරයක් සරත් ෆොන්සේකා සහ රවී කරුණානායක යන මහත්වරුන් නිතර හමුවී උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන අතර ඒ අයගේ ඉදිරි දේශපාලන ක්‍රියා මාර්ග පිළිබඳව දැනුම් දී ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියා මාර්ග සහ යෝජනා පිළිබඳව ද ඒ අය ඉල්ලා සිටින සහයෝගය සම්බන්ධයෙන් ද රංජිත් මද්දුමබණ්ඩාර,ගාමිණී ජයවික්‍රම පෙරේරා,ජොන් අමරතුංග,සරත් ෆොන්සේකා සහ රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් අතර ගෙවුණු සතිය මුළුල්ලේ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර එම නායකයින් ඒ සම්බන්ධයෙන් සර්වාගමික නායකයින්,සිවිල් ක්‍රියාකාරීන්,විද්වතුන් සහ මාධ්‍යවේදීන් සමග ද අදහස් හුවමාරු කර ගෙන ඇත.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ මේ ජ්‍යෙෂ්ඨ නායකයින් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ද ඉදිරියේදී ගත යුතු දේශපාලන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද අවසන් තීරණයකට මෙතෙක් එළැඹ නැතැයි ද දැන ගන්නට තිබේ.

එම් සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ජොන් අමරතුංග මහතාගෙන් “lankanewsweek” කළ විමසීමකදී ඔහු සඳහන් කළේ උද්ගත වී තිබෙන ප්‍රශ්න ඉක්මනින්ම විසඳා නොගත හොත් 2020 දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ඔසවා තැබීමට අපහසු වනු ඇති බවය.

2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ වේලාව ආවම අපේක්ෂකයා කවුද කියා දැන ගැනීමට හැකි වනු අතර ඊට මේ කාලය නොවන බවය.

ජ්‍යෙෂ්ඨයින් ආසන සංවිධායක ධූරවලින් පහ කර එම ආසන තරුණ මන්ත්‍රීවරුන්ට ලබා දීමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණය පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ජෝන් අමරතුංග මහතා කියා සිටියේ පක්ෂය එවැනි තීරණයක් ගෙන නොමැති අතර සිය ආසනයෙන් ඉල්ලා අස් වන ලෙසට තමාට නම් කිසිවකු දැනුම් දී නොමැති බවය.   

 
Advertiesment